කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඉතිහාසය

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපනය, පර්යේෂණය හා සංවර්ධනය විශ්වවිද්‍යාලය විධිමත් ලෙස ආරම්භ වූ 1921 ජනවාරි 21 වන දින සිට වසර 50 කට වඩා වැඩි ය. පරිගණනයේ මුලපිරීම 1967 සැප්තැම්බර් මාසයේ දී විද්‍යා ජෝති මහාචාර්ය වී.කේ සමරනායක විසින් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයෙන් ආරම්භ කරන ලද අතර එමගින් කලා පීඨය ඇතුළු අනෙකුත් පීඨයන්හි සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට උපාධි හා පශ්චාත් උපාධි මට්ටම්වල පාඨමාලා මොඩියුලයක සිට උපාධි පාඨමාලා දක්වා ප්‍රතිලාභ සැලසේ. සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයනාංශය (DSCS) සහ පරිගණක තාක්‍ෂණ ආයතනය (ICT) ස්ථාපිත කිරීම 1980 වකවානුවේ ප්‍රධාන සන්ධිස්ථාන විය. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විෂය වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) නමින් ශ්‍රී ලංකාවේ පළමු පරිගණක පීඨ‍ය ස්ථාපිත කෙරිණි. එය ශ්‍රී ලංකාවේ පරිගණනය පිළිබඳ උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ සංවර්ධනය ලබා දීමේ පුරෝගාමියා මෙන්ම ප්‍රමුඛයා බවට පත්ව ඇත. අති නවීන පරිගණක පහසුකම් සහිත දිවයිනේ පරිගණනයෙහි හොඳම උපාංගවලින් සහ කාර්ය මණ්ඩලයකින් සන්නද්ධ අධ්‍යාපන ආයතනය එයයි. පසුගිය දශක දෙක තුළ පරිගණක අධ්‍යාපනය ලබා දීමේ දී කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කිරීම සඳහා පරිගණක අධ්‍යයනායතනය දැවැන්ත පියවර ගෙන තිබේ. UCSCහි පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක කෞතුකාගාරය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විෂයක්ෂේත්‍රයේ ප්‍රගමනය පෙන්නුම් කරමින් කාලීන සංසිද්ධි පෙළගැස්වීමක් හරහා එය තහවුරු කරයි.

හැඳින්වීම

කොළඹ විශ්වවිද්‍යාලයට පරිගණක අධ්‍යයනය, පර්යේෂණය සහ සංවර්ධනය පිළිබඳ දශක පහකට අධික දීර්ඝ ඉතිහාසයක් පවතී. මහාචාර්ය විද්‍යා ජෝති වී. කේ. සමරනායක මහතාගේ නායකත්වය යටතේ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය දශක පහක කාලයක් තුළ ජාතික ව්‍යාපාරයන් රැසකට සිය දායකත්වය ලබා දී තිබේ. ඒ අතරින් කිහිපයක් ලෙස 1980 වකවානුවේ සිට පැවති මහමැතිවරණ සහ ජනාධිපතිවරණ වැනි ජාතික මැතිවරණ, 1990 වකවානුවේ රූපවාහිනී සංස්ථාව විසින් විකාශනය කරන ලද ක්‍රිකට් ලකුණු පුවරුව, පරිගණනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පිණිස 1970 වකවානුවේ සිට ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් සිදු කිරීම, පාසල් ළමුන් සහ ප්‍රජාව උදෙසා ජංගම පරිගණක බස්රථ වැනි ප්‍රජාවට සමීප වූ වැඩසටහන් සිදු කිරීම යනාදිය පෙන්වා දිය හැකිය. මහාචාර්ය වී. කේ. සමරනායක මහතා එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලයේ (University of Reading) වඩාත් ක්‍රියාකාරී ශාස්ත්‍රඥයෙකු වූ ආචාර්ය රොජර් ස්ටර්න් සමග සම්බන්ධ වී දිගුකාලීන Reading-Colombo සබැඳිය ක්‍රියාත්මක කළේ ය. ඒ හරහා කොළඹ විශ්වවිද්‍යාලයට නොයෙක් වර්ගවලට අයත් පරිගණක උපාංග ලබා දෙන ලදි.

1960 දශකයේ නිෂ්පාදනය කරන ලද යාන්ත්‍රික ගණකයන්ත්‍රවල සිට …..[1] විද්‍යුත් යාන්ත්‍රික ගණකයන්ත්‍ර දක්වා ප්‍රබල පරිගණක ජාලවලට පූර්ණ වශයෙන් පහසුකම් සැලසීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයත් පසුකාලීනව සංඛ්‍යාන විද්‍යා හා පරිගණක විද්‍යා අධ්‍යයනාංශය, ICT ලෙස හඳුන්වනු ලබන පරිගණක තාක්ෂණ ආයතනය, පරිගණක විද්‍යා අධ්‍යයනාංශය සහ 2002 වසරේ දී ස්ථාපිත කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) ශ්‍රී ලංකාවේ පරිගණක අධ්‍යයනය, පර්යේෂණය සහ සංවර්ධනයේ පුරෝගාමී නියමුවන් වී ඇත. පරිගණනය ලෝකයට නව සංකල්පයක් වන අවධියක කලාපයේ බොහෝ රටවලට සාපේක්ෂව ඇතැම් වර්ධනයන් අතින් ඉදිරියෙන් සිටියේ ය.

දිවංගත මහාචාර්ය වී. කේ. සමරනායක මහතාගේ මග පෙන්වීම යටතේ 1967 දී ගණිත අධ්‍යයනාංශයෙන් Fortran පරිගණක ක්‍රමලේඛනය හඳුන්වා දෙන ලදි. 1985 දී ගණිත අධ්‍යයනාංශය, ගණිත අධ්‍යයනාංශය සහ සංඛ්‍යාන විද්‍යා හා පරිගණක විද්‍යා අධ්‍යයනාංශය (DSCS) යනුවෙන් අධ්‍යයනාංශ දෙකක් බවට ක්‍රමයෙන් විකාසනය විය. 1996 සැප්තැම්බර් මස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ත්‍රිභාෂා ජාතික වෙබ් අඩවිය (www.lk) සංවර්ධනය කළේ ය. 2002 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වශයෙන් පරිගණක තාක්ෂණ ආයතනය (ICT) සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) ස්ථාපිත කළේ ය. දශක පහකට අධික කාලයක් පුරාවට ලබාගත් සාධන මට්ටම තුළින් රටේ ජාතික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයමින් ශ්‍රී ලංකාවේ පරිගණක අධ්‍යයනය පිළිබඳ වන ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්වෙමින් කොළඹ විශ්වවිද්‍යාලය එහි විභවය ප්‍රදර්ශනය කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය සාර්ථකත්වය කරා පියමන් කිරීමේ දී මැතිවරණ ප්‍රතිඵල සහ ක්‍රිකට් ලකුණු පුවරු සැකසීම, ප්‍රජාවට සමීප වූ අධ්‍යාපනය, සහ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් ඇතුළු ප්‍රජා සේවාවන් තුළින් විශිෂ්ට පියවරයන් ගෙන තිබේ. JAICA සහ එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලය වැනි ආයතන සමග විශ්වවිද්‍යාලයට ඇති සම්බන්ධය එහි ශක්තියට මහත් පිටිවහලක් වී ඇත.

කොළඹ පරිගණනයේ සන්ධිස්ථාන

Colombo – Reading යටතේ, ආචාර්ය රොජර් ස්ටර්න් හරහා මහාචාර්ය වී කේ සමරනායක විසින් එක්සත් රාජධානිය සමග ඇති කර ගත් සම්බන්ධතාව යටතේ විශ්වවිද්‍යාලයට එහි පළමු පරිගණකය වන කාඩ්පත් කියවනයක් සහිත හෙව්ලෙට් පැකාර්ඩ් 9825 මිනි පරිගණකය තෑගි කරන ලදී. මෙමගින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ පරිගණනයට ඉඩ සැලසුණු අතර ඒ හරහා 1977 දී කුඩා පරිමාණ පරිගණක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. කොළඹ විශ්වවිද්‍යාලයේ පැරණිතම උපාංග අතර Data General NOVA / 4 කුඩා පරිගණකය, කාලය බෙදාගැනීමේ සහ බහු-පරිශීලක අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සමග තැටි ආචයනය (20 MB), RAM (128 KB)ක් වූ චුම්බක ටේප් ධාවකයක් සහ ටර්මිනල අටක් සහිත Data General Eclipse S/140 කුඩා පරිගණකය ඇතුළත් වේ. 1981 දී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක කාමරය IBM-PC 1ක්, WANG-PC 1ක්, Kaypro 2 2ක් සහ RadioShack TRS80-16 2ක් යන පරිගණක වලින් සමන්විත විය. එපමණක් නොව Colombo – Reading එක්සත් රාජධානියේ සම්බන්ධතාව හරහා, HP 9825 පරිගණකයක් සහ BBC මයික්‍රොපරිගණක (මෙම වර්ගයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පළමු පරිගණක) විශාල ප්‍රමාණයක් ලැබුණි. ඒවා දැන් හුරුපුරුදු පෞද්ගලික පරිගණකයට වඩා බෙහෙවින් වෙනස් ය. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණනය සංවර්ධනය උදෙසා දරන ලද ප්‍රථම වෑයම ලෙස හඳුනාගත හැකිය. 2000 වර්ෂයේ සිට, තත්‍ය කාලීන, පූර්ණ තිර, පූර්ණ චලන නොවන රේඛීය සංස්කරණ (NLE) පද්ධතිය අන්තර්ගත ඩෙස්ක්ටොප් පරිගණකය, IEEE 1394 අතුරුමුහුණත් කාඩ්පත සහ මෘදුකාංගය, 400 MHzහි Dual Intel Pentium II Xeon, Real-Time NITRO, DV / 1394 අතුරුමුහුණත් කාඩ්පත, වීඩියෝ සහ ඩීවී ආකෘති සඳහා සහය ඇති Adobe Premiere 6.0 ද පැවතුණි.

IBM විසින් 1956 සැප්තැම්බර් 13 වන දින 305 RAMAC (සසම්භාවී ප්‍රවේශ මතක ගිණුම්කරණ පද්ධතිය) පරිගණකය හඳුන්වා දෙන ලද අතර එය IBM 350 තැටි ගොනුව නමින් තැටි ධාවකයක් ඇතුළත් කළ පළමු පරිගණකය විය. සම්පූර්ණ තැටි ගොනුවේ ධාරිතාව 5MB විය. වසර 25කට පසු, 1981 දී කොළඹ පරිගණනයට ඉවත් කළ හැකි 5MB දෘඩ තැටියක් සහිත Data General NOVA / 4 මිනි පරිගණකය ලැබුණි. 1982 දී 32KB මතකය සහිත ව්‍යුහාත්මක මූලික බිටු අටක යන්ත්‍රයක් වූ පළමු BBC මයික්‍රොපරිගණකය ලැබුණි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (BBC) විසින් ඔවුන්ගේ පරිගණක සාක්ෂරතා වැඩසටහන සඳහා සංවර්ධනය කරන ලද මෙම යන්ත්‍රය අඩු වියදමකින් හඳුන්වා දෙන ලද අතර එහි ශ්‍රව්‍ය කැසට් සහ නම්‍ය තැටිවල වර්ණ, ශබ්ද සහ දත්ත ආචයනයක් සහිත විය. මෙම යන්ත්‍රය 1982 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැකසීම සහ නිකුත් කිරීම ඇතුළු බොහෝ කටයුතු සඳහා සහය වී ඇත.

කෞතුකාගාර එකතුව

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙහි පරිගණක ඉතිහාස කෞතුකාගාරය කොළඹ විශ්වවිද්‍යාලයෙහි පරිගණනය පිළිබඳ වසර 50කට වැඩි අභිමානවත් ඉතිහාසය, තාක්ෂණික පරිණාමයේ දශකයන් සහ රටේ උසස් අධ්‍යාපනය සඳහා මුල් කාලීනව යොදා ගත් පරිගණක යන්ත්‍ර ඇතුළුව විෂයාංශ රාශියක් ප්‍රදර්ශනය කරයි. අනාගත පරම්පරාවන්ට දැනුමක්, උත්ප්‍රේරණයක් ලබා දීමට මෙන්ම එහි උරුමය විදහා දැක්වීමක් ලෙසද මෙම එකතුව ඉදිරි වසර පුරාවට පවත්වාගෙන යනු ඇත. ඉතිහාසය නිර්මාණය වුණේ මේ ආකාරයටයි.

අතථ්‍ය කෞතුකාගාරයේදී ඔබට IBM 360 හඳුන්වාදීමට සමගාමීව 1964 දී ප්‍රකාශයට පත් කරන ලද IBM 29 කාඩ් පන්චින් යන්ත්‍රය දැක ගත හැකිය. මෙම පන්චින් යන්ත්‍රය සහ එහි සගයා, IBM 59 කාඩ් සත්‍යාපකය පන්ච් කාඩ්පත්වල තොරතුරු සටහන් කිරීමට සහ පරීක්ෂා කිරීමට යොදා ගන්නා ලදී. අනතුරුව මෙම කාඩ්පත් පරිගණකයක් හෝ ගිණුම්කරණ යන්ත්‍රයක් මඟින් කියවා සකස් කෙරිණි. IBM 29 යන්ත්‍රය නිෂ්පාදන නාමාවලියේ 1984 මැයි දක්වා පැවතුණි. ඇකෝන් ඉලෙක්ට්‍රෝනය යනු සීමාසහිත ඇකෝන් කම්පියුටර්ස් විසින් සාදන ලද BBC මයික්‍රොපරිගණකයෙහි මිල අඩු අනුවාදයකි. එහි සසම්භාවී ප්‍රවේශ මතකය කිලෝබයිට් 32ක් වූ අතර එහි මෙහෙයුම් පද්ධතිය සමග BBC BASIC එහි පඨන මාත්‍ර මතකයෙහි අන්තර්ගත විය. එසේම, කිසියම් ටේප් රෙකෝඩරයක මයික්‍රොෆෝන කෙවෙනියකට සවි කරන ලද පරිවර්තක කේබලයක් හරහා ශ්‍රව්‍ය කැසට් පටයක ක්‍රමලේඛ සුරැකීමට සහ ලෝඩ් කිරීමට ඉලෙක්ට්‍රෝනයට හැකි විය. ඉතා සාර්ථක ෆ්‍රීඩන් EC130හි අනුප්‍රාප්තිකයා වූයේ ෆ්‍රීඩන් EC132 ය. වාණිජමය වශයෙන් ලබා ගත හැකි පළමු ඝන තත්වයේ ඩෙස්ක්ටොප් ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටරය ලෙස එය ඓතිහාසික වශයෙන් සැලකේ. කයිප්‍රෝ II යනු 1982 දී Non-Linear Systems විසින් නිකුත් කරන ලද පළමු පරිගණකයයි. කයිප්‍රෝ II විශේෂ වන්නේ සම්පූර්ණ ආවරණයම ලෝහයෙන් සාදා ඇති බැවිනි. IBM PC XT (eXtended Technology) යනු ඉතා සාර්ථක IBM PCට පසුව පැමිණි පරිගණකයයි. එය මූලික වශයෙන් එකම පෙට්ටියක විකුණන ලද නමුත් සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුවිය. මෙම වැඩි දියුණුවීම් එවකට මිනි පරිගණක, මයික්‍රෝ සහ මේන්ෆ්‍රේම් යන්ත්‍ර සංවර්ධනය හා භාවිතය සඳහා දැවැන්ත පියවරක් විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙහි ආචයන තාක්ෂණය පන්ච් කාඩ් සහ නම්‍ය තැටිවල සිට ඉහළ ධාරිතාවකින් යුත් තැටි වෙත විශාල ප්‍රගතියක් ලබා තිබේ. 1950 දශකයේ දී ෆෙරයිට්-හර මතකය ලෙස ද හැඳින්වෙන චුම්බක හර මතකය ප්‍රධාන මතකය ලෙස භාවිත කරන ලදී. එහි අඩංගු චුම්බක ක්ෂේත්‍රයේ ධ්‍රැවීයතාව මත පදනම්ව කේතනය කරන ලද තොරතුරු ගබඩා කිරීම සඳහා සෙරමික්වලින් සාදන ලද කුඩා චුම්බක මුදු භාවිත කරන ලදී. 1956 දී භ්‍රමණය වන තැටි සහිත දෘඪ තැටි පැවති අතර ඒවා පැතළි චුම්බක මතුපිටක් හරහා ඩිජිටල් තොරතුරු බිටු ගබඩා කිරීමත් ආපසු ලබා ගැනීමත් සිදු කරයි. 1963 දී සංගීත පටි පැවති අතර 1979දී ශ්‍රව්‍ය කැසට් පටි භාවිතය වෙනස් කිරීමට ඉතා ජනප්‍රිය වූ සෝනිහි වෝක්මන් උපකාරී විය. 1966දී රොබට් ඩෙනාර්ඩ් විසින් ඩයිනමික් සසම්භාවී ප්‍රවේශ මතක තාක්‍ෂණ (DRAM) කෝෂ නිපදවන ලදී. DRAM කෝෂ නැතහොත් මතක කෝෂවල එක් ට්‍රාන්සිස්ටරයක් අඩංගු වන අතර මෙම කෝෂ පරිපථයක විද්‍යුත් ආරෝපණයක් ලෙස තොරතුරු බිටු ගබඩා කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ මිනි පරිගණක 1968 දී සංවර්ධනය කරන ලද ට්විස්ටර් මතකය සහ බබල් මතකය (1970) ද භාවිත කළේය. IBM, සිස්ටම් / 370 මේන්ෆ්‍රේම් පරිගණක වෙත මයික්‍රෝ කේතය ලෝඩ් කිරීම සඳහා සැකසෙන මිල අඩු පද්ධතියක් සංවර්ධනය කිරීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1971 දී අඟල් 8ක චුම්බක නම්‍ය තැටිය බිහි විය. ප්ලාස්ටික් වලින් ආවරණය කර ඇති චුම්බක පටලයකින් සාදා තිබෙන අතේ ගෙන යා හැකි ආචයන උපාංගයක් වූ නම්‍ය තැටිය දත්ත ගබඩා කිරීම පහසු සහ වේගවත් කළේය. සංයුක්ත තැටි පඨන මාත්‍ර මතකය නමින් ද හඳුන්වන CD-ROM (1984) ඩිජිටල් දත්ත ගබඩා කිරීම සඳහා වන ශ්‍රව්‍ය සංයුක්ත තැටි මෙන් එම භෞතික ආකෘතියම භාවිත කළේය. මේවාට පසු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන්නේ 1992 මිනි තැටි, 1993 ඩිජිටල් රේඛීය ටේප්, 1995 DVD සහ 1997 බහුමාධ්‍ය කාඩ් ආදී භාණ්ඩ වේ.

කොළඹ පරිගණනයේ භාවිත වූ සංදර්ශන තාක්‍ෂණය මුලින් ආරම්භ කර ඇත්තේ යාන්ත්‍රික ප්‍රක්ෂේපණයෙන් වන අතර පසුව එය උසස් තත්ත්වයේ පොදු කාර්ය ප්‍රක්ෂේපන යන්ත්‍ර දක්වා වර්ධනය විය. OHP යනු විනිවිදක ප්‍රක්ෂේපකවල ප්‍රභේදයකි. ඒවා හඳුන්වා දෙන ලද්දේ විනිවිදක ප්‍රක්ෂේපකවලින් වසර කිහිපයකට පසුවය. ද්‍රව ස්ඵටික සොයා ගැනීමත් සමඟ LCD තාක්ෂණය හඳුන්වාදීම හරහා LCD ප්‍රක්ෂේපන යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකි විය. දශක කිහිපයකට පෙර, ඒවායින් සාදන ලද සංදර්ශක වාණිජමය වශයෙන් ලබා ගත හැකි වූයේ 1960 සහ 1970 දශකවල පමණි.

ඩොට්-මැට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍රවලින් ආරම්භ වූ මුද්‍රණයේ විකාශනය තාප තාක්‍ෂණය හා පසුව ලේසර් මුද්‍රණය දක්වා ඉදිරි පියවර තැබීය. 1968 දී හඳුන්වා දුන් ඩොට් මැට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍ර යාන්ත්‍රික පීඩනයකින් මුද්‍රණ ක්‍රියාවලිය සිදු කළ අතර මෙම මුද්‍රණ යන්ත්‍රවලට කාබන් පිටපත් සහ කාබන් රහිත පිටපත් නිර්මාණය කළ හැකිය. ඉන්පසු 1970 වකවානුවේ ලේසර් මුද්‍රණ යන්ත්‍ර නිපදවන ලදී. ඊට අමතරව 1993 දී පළමු අන්තර්ජාල සම්බන්ධතාව ස්ථාපිත කිරීම ඵලදායී සන්නිවේදනය සහ සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමට මග පෑදීය. කොළඹ පරිගණනයේ බහුමාධ්‍ය තාක්‍ෂණයන්හි විකාශනය හේතුවෙන් මේ වන විට UCSCහි අංගසම්පූර්ණ ඩිජිටල් චිත්‍රාගාරයක් බිහි වී තිබේ.

ඉදිරිය දෙස බලන විට, මෙතැන් සිට වසර 10ක් හෝ 20ක් තුළ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මීටත් වඩා වේගවත් වෙනසක් හා වර්ධනයක් කරා යනු ඇත. අද එකට ගත් තීරණ විශාල බලපෑමක් ඇති කරනු ඇති අතර ඉදිරි දශක ගණනාවක අනාගතය ද හැඩගස්වනු ඇත. කලාපයේ දැනුම කේන්ද්‍රස්ථානයක් ලෙස රට ස්ථානගත කිරීම සඳහා දායක විය හැකි සමාජ වගකීම් සහිත වෘත්තිකයන් බිහිකිරීම සඳහා විෂයක්ෂේත්‍ර අතර සිදු කරන පර්යේෂණ ප්‍රවර්ධනය කරන අතරම ගෝලීය උපාය මාර්ගික සන්ධානයන් පෝෂණය කරමින් පරිගණක දැනුම වැඩි දියුණු කිරීම සඳහා UCSC කටයුතු කරනු ඇත.