මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2019

ආධාරක පැතිකඩ ස්වාභාවික භාෂාවන් අතර රටාවකට මග පාදයි

මහාචාර්ය මහේන්ද්‍රන් වේලාතපිල්ලෙයි, පරිගණක විද්‍යාව පිළිබඳ මැක්බ්‍රයිඩ් මහාචාර්ය, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය, වොෂිංටන් ඩී.සී.

දිනය: 2019 සැප්තැම්බර් 02

ස්ථානය: විද්‍යා ජෝති මහාචාර්ය වී. කේ. සමරනායක ශ්‍රවණාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය, කොළඹ, ශ්‍රී ලංකාව

මහේන්ද්‍රන් වේලාතපිල්ලෙයි කොලේජ් පාර්ක්හි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහු විශේෂඥභාවය ලත් විෂය ක්ෂේත්‍රය වූයේ ඉගෙනුම් න්‍යායයි. ඔහු පිළිවෙලින් ඔහියෝ විශ්වවිද්‍යාලයෙන් සහ පර්ඩියු විශ්වවිද්‍යාලයෙන් ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධි දෙකක් ලබා ඇත. ගණිතය විෂය පිළිබඳ ඔහු සිය උපාධිය හදාරනු ලැබුවේ කොළඹ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙනි. මේ වන විට ඔහු මැක්බ්‍රයිඩ් පවුලේ පවරාදීමක් වශයෙන් හිමි වූ මහාචාර්ය පදවිය හොබවන අතර 1997 සැප්තැම්බර් සිට 2001 ජුනි දක්වා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය. පරිගණක ඉගෙනුම් න්‍යාය පිළිබඳ බොහෝ ප්‍රකාශන සිදු කොට ඇති මහේන්ද්‍රන් මහතා ලොව පුරා සම්මන්ත්‍රණ රැසකදී සිය කෘති ඉදිරිපත් කර ඇත. පරිගණක ජාල ක්ෂේත්‍රයේ ද සේවය කර ඇති ඔහුට ඒ සඳහා එක්සත් ජනපද පේටන්ට් බලපත්‍ර හතරක් තිබේ. ඔහු IBM, Bell Atlantic සහ AT&T යන ආයතනවල උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇත. ජංගම රැහැන් රහිත ජාලයන් සම්බන්ධයෙන් ඔහු කළ කාර්යය හරහා පත්‍රිකා රාශියක් පළ වී ඇති අතර ඒ සඳහා ඔහුට CISCO සමඟ ඒකාබද්ධව පේටන්ට් බලපත්‍ර දෙකක් තිබේ. ඔහුගේ වර්තමාන පර්යේෂණ සඳහා අවධානය යොමු වී ඇත්තේ සංවේදක ජාල, පරිගණක වාග්විද්‍යාව සහ සන්නිවේදන සංකීර්ණත්වය යන ක්ෂේත්‍රවලට ය.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2018

ව්‍යවහාරික සංඛ්‍යාන විද්‍යාවේ සිට දත්ත විද්‍යාව සහ ඉන් ඔබ්බට යන ගමනක්

ආචාර්ය කෙවින් සෙනෙවිරත්න, ඕස්ට්‍රේලියාවේ දත්ත සේවා සමූහයේ ජ්‍යේෂ්ඨ දත්ත සමුදා පරිපාලක සහ උපදේශක

දිනය: 2018 සැප්තැම්බර් 26

ස්ථානය: විද්‍යා ජෝති මහාචාර්ය වී. කේ. සමරනායක ශ්‍රවණාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය, කොළඹ, ශ්‍රී ලංකාව

කෙවින් මහතා වසර 14ක් කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන විද්‍යා සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය. 1995 දී ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත සංක්‍රමණය වීමෙන් පසු ශාස්ත්‍රාලය අතහැර දැමීය. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සිල්ලර අලෙවිකරුවෙකු සඳහා ඔරකල් දත්තසමුදා පරිපාලකයෙක් (DBA) වන අතර Oracle Database Technologies ආයතනය සමග එක්ව කටයුතු කිරීමෙන් වසර 18 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහු මහා පරිමාණ දත්ත ගබඩා ව්‍යාපෘති ගණනාවක තාක්‍ෂණික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර දත්ත සමුදා ආරක්ෂණය පිළිබඳ ප්‍රධාන තාක්‍ෂණික සම්පත්දායකයෙකි. මේ වන විට ඔහුගේ වැඩි අවධානය යොමු වී ඇති ක්ෂේත්‍ර අතර ස්නායුක ජාල (Neural Networks) සහ වලාකුළු සේවා (Cloud Services) ද වේ.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2017

සංඛ්‍යාන විද්‍යාව සඳහා දේශගුණය වැඩි දියුණු කිරීම

මහාචාර්ය රොජර් ස්ටර්න්. ව්‍යවහාරික සංඛාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය (සම්මානිත), රීඩින් විශ්වවිද්‍යාලය.

දිනය: 2017 සැප්තැම්බර් 06

ස්ථානය: විද්‍යා ජෝති මහාචාර්ය වී. කේ. සමරනායක ශ්‍රවණාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය, කොළඹ, ශ්‍රී ලංකාව

රොජර් ස්ටර්න්, එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන සේවා මධ්‍යස්ථානයේ ව්‍යවහාරික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ රීඩින් විශ්වවිද්‍යාලයෙන් සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු එම විශ්වවිද්‍යාලයේම සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ අතර වසර 10ක් විදේශයන්හි ද, විශේෂයෙන් ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ නයිගර් වැනි රටවල විශ්වවිද්‍යාලවල මෙන්ම කෘෂිකාර්මික පර්යේෂණ ආයතනවල ද සේවය කර ඇත.

ඔහුගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍රයන් වන්නේ ඓතිහාසික දේශගුණික දත්ත, විශේෂයෙන් වර්ෂාපතනයට අදාළ දත්ත, පරිශීලකයන්ට සෘජුවම අදාළ වන අයුරින් සැකසීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික සංඛ්‍යානමය ක්‍රම පිළිබඳ මෙන්ම විශේෂයෙන් ව්‍යවහාරික දේශගුණ විද්‍යාවේ සංඛ්‍යාන පිළිබඳ පුහුණුව සඳහා ඵලදායී ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම පිළිබඳ ඔහු විශේෂ සැලකිල්ලක් දක්වයි. සංඛ්‍යාන සේවා මධ්‍යස්ථානයේ ඔහුගේ වර්තමාන කාර්යභාරය බොහෝ දුරට නොයෙකුත් ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතුවලට සහය දැක්වීම වන මුත් කෘෂිකාර්මික පර්යේෂණ මෙන්ම දේශගුණ විචල්‍යතාව සහ දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ පර්යේෂණ සඳහා ඔහු විශේෂයෙන් සහය වේ.

දත්ත විශ්ලේෂණ, සංඛ්‍යානමය යෙදුම්, එනම් පරීක්ෂණ සැලසුම් කිරීම, දත්ත සංවිධාන විශ්ලේෂණය සහ වාර්තාකරණය, සංඛ්‍යානමය මෘදුකාංග, සංඛ්‍යාන දේශගුණ විද්‍යාව, ඓතිහාසික දේශගුණික දත්ත විශ්ලේෂණය, පර්යේෂණ ක්‍රම සහය සහ සංඛ්‍යාන දේශගුණ විද්‍යාව පිළිබඳ විශේෂඥ මත පළ කිරීමේ හැකියාව ඔහු සතු වේ.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2016

විශාල දත්ත විශ්ලේෂණවල ඇති විශාල මිථ්‍යාවන් සහ විශාල අවස්ථාවන්: දත්ත ඉංජිනේරු ශිල්පීය දෘෂ්ටිකෝණයක්

මහාචාර්ය සමන් හල්ගමුගේ, ප්‍රශස්තිකරණය සහ රටා හඳුනාගැනීමේ සමූහය, මෙල්බර්න් විශ්වවිද්‍යාලය.

දිනය: 2012 ජූලි 05

වේලාව: ප.ව. 4.00

ස්ථානය: රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව

වර්තමානය වන විට මහාචාර්ය සමන් හල්ගමුගේ මහතා මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන මහාචාර්යවරයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයීය  පරිගණක අධ්‍යයනායතනයේ මහාචාර්ය වී. කේ. සමරනායක මහතා විසින් පවරන ලදුව බාහිරින් දේශන සඳහා සහභාගී වන මහාචාර්යවරයෙකි. ගෞරවාන්විත පත්වීමක් වන ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිල්පීය පර්යේෂණ අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ තනතුර තවත් මාස කිහිපයකින් හල්ගමුගේ මහතා විසින් ලබාගැනීමට නියමිතය. ජර්මනියේ ඩාම්ස්ටඩ්ට් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Technical University of Darmstadt) දත්ත ඉංජිනේරු ශිල්පය (Datentechnik) පිළිබඳ ඩිප්ලෝමාවක් සහ දර්ශනශූරී (ආචාර්ය) උපාධියක් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු ශිල්පය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගෙන තිබේ. පර්යේෂණ පුහුණුව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔහු විසින් ශාස්ත්‍රීය නායකත්ව තනතුරු කිහිපයක් හොබවා ඇත.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ හිටපු සහකාර පීඨාධිපති සහ දර්ශනශූරී (ආචාර්ය) පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (Director of PhD Training Centre MIPP) වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා-මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ දර්ශනශූරි (ආචාර්ය) උපාධි ශිෂ්‍යත්ව යෝජනාක්‍රමය සහ මූලික IITs සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලය අතර සහයෝගිත්ව පර්යේෂණ පුහුණුවක් ආරම්භ කළේය. ඔහු මීට පෙර UNDP-TOKTEN සාමාජිකයෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) සහ මූලික අධ්‍යයන ආයතනය නැරඹීමට ගොස් ඇති අතර පේරාදෙණිය විශ්වවිදයාලයේ බාහිර මහාචාර්යවරයෙකු වශයෙන් පත් කෙරිණි.

ගැඹුරු අධ්‍යයනය, විශාල දත්ත විශ්ලේෂණය සහ යාන්ත්‍රඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ සහ ජෛව ඉංජිනේරු විද්‍යාවේ භාවිතයන් පිළිබඳ අවධානය යොමු කරන ප්‍රශස්තිකරණය යනාදිය ඇතුළත්ව දත්ත ඉංජිනේරු විද්‍යාවේ කැපීපෙනෙන පර්යේෂණ වාර්තා ඔහු සතු වෙයි. ඔහු ඕස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය සහ මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පර්යේෂණ උපදේශාත්මක කවුන්සිලය ඇතුළුව ප්‍රධාන පර්යේෂණ මණ්ඩලවල සාමාජිකත්වය දරයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරී (ආචාර්ය) උපාධිය සම්පූර්ණ කරන ලද සිසුන් 30දෙනෙකු සහ ඔහුගේ කණ්ඩායමේ තව දුරටත් දර්ශනශූරී (ආචාර්ය) උපාධිය හදාරමින් සිටින අනෙකුත් සිසුන් ද ඇතුළත්ව ඔහු දර්ශනශූරී (ආචාර්ය) උපාධිය හදාරන සිසුන් 45දෙනෙකුගේ අධීක්ෂක ලෙස කටයුතු කරනු ලබයි. ඔහු යටතේ පෙර සිටි සහ වර්තමානය වන විටත් දර්ශනශූරී (ආචාර්ය) උපාධිය හදාරමින් සිටින සිසුන් අතර මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කරන 5දෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් 20දෙනක් අන්තර්ගත වෙති. ඔහු ස්පාඤ්ඤයේ IBEC (2015), බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලය (2014), ෂැංහායි ජිආඕ විශ්වවිද්‍යාලය (2014), ඉන්දියාවේ කන්පූර්, ඛරග්පූර් සහ චෙන්නායිහි IITs (2012-14), බැන්ඩුන්ග් (Bandung) තාක්ෂණික ආයතනය(2012), ඉන්දුනීසියා විශ්වවිද්‍යාලය (2012), ජර්මනියේ රොබර්ට් බොස්ච් (2011), තායිපෙයිහි ඇකඩමියා සිනිකා (2011), චීනයේ ආකාශ යාත්‍රා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ නැන්ජින් විශ්වවිද්‍යාලය (2010) සහ පසදෙනාහි (Pasadena) NASA JPL විද්‍යාගාර (2008) යන ස්ථානවලට නිතර ආරාධනා ලද මහජන කථිකයෙකි. ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයින්ගෙන් පුරෝගාමිත්වය ලද පර්යේෂණ සම්මේලන වන ICTer (2010), ICIAfS (2012), ICIIS (2014) සහ MERCON (2016) යනාදියෙහි ඔහු ප්‍රධාන දේශන 20ක් පමණ සිදු කර ඇත.

1982-83 කාලයේ දී මහාචාර්ය වී. කේ. සමරනායක මහතා ලෝක විශ්වවිද්‍යාල සේවාවෙහි සභාපතිත්වය දරන විට මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු එහි ජාතික උපසභාපති ධුරය හෙබවීය. පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක විද්‍යායතනයෙහි ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිතර එහි පැමිණීමට මෙම සම්බන්ධය පාදක විය. 1983 දී මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාවේ බාහිර සබඳතා කමිටුවෙහි සභාපති වශයෙන් ද ඔහු කටයුතු කළේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු බලශක්ති සංරක්ෂණ සංසදයට පුරෝගාමී වූ අතර පාසලේ ප්‍රසිද්ධ කථනය වැනි විවිධ ශිෂ්‍ය සංගම්වල ද නිරත වී සිටියේ ය.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2015

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, තාක්‍ෂණික වෙනස නිසා ඇති වන ගැටලු සහ විශ්වවිද්‍යාලවල වගකීම්

කීර්තිමත් විශ්‍රාමික සිවිල් සේවකයෙකු වන දේශමාන්‍ය එම්. ඩී. ඩී. පීරිස්.

දිනය: 2015 සැප්තැම්බර් 9

වේලාව: ප.ව. 4.00

ස්ථානය: BMICH, Committee Room A

දේශමාන්‍ය ධර්මසිරි පීරිස් මහතා ලංකා (පේරාදෙණිය) විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි; ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය විසින් ගෞරවාන්විත ජ්‍යේෂ්ඨ සාමාජික යන පදවි ප්‍රදානය කර ඇත.

කීර්තිමත් විශ්‍රාමික සිවිල් සේවකයෙකු වන දේශමාන්‍ය පීරිස් මහතා රාජ්‍ය සේවයේ කීර්තිමත් වෘත්තිය ප්‍රගමනයෙහි වැදගත් තනතුරු කිහිපයක් දරා ඇත. අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්; රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්; කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යාංශයේ ලේකම්; අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ ගුවන්විදුලි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු ඒ අතර වේ.

ඔහු සිය රාජකාරිවලට අමතරව අවස්ථා කිහිපයකදීම ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ වෙළඳ හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරුවල කටයුතු කර ඇත.

ඔහු විවිධ කාලවල දී ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිවරයා ලෙස ද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති සහ ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කර ඇත.

ඔහු විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි ආයතන කිහිපයක පාලක මණ්ඩලවල හෝ කළමනාකරණ මණ්ඩලවල සේවය කර ඇත.

ඔහු මහජන බැංකුවේ සහ මහජන වෙළඳ බැංකුවේ අධ්‍යක්ෂවරයකු මෙන්ම මහ බැංකුවේ ග්‍රාමීය ණය උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ද විය.

ජාතික වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද මූල්‍ය හා බැංකු කටයුතු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද ඔහු සේවය කර ඇත.

වර්තමානයේ ඔහු සීමාසහිත මර්කන්ටයිල් මර්චන්ට් බැංකුවෙහි උපසභාපති සහ තොරතුරු තාක්ෂණ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති ලෙස ද සේවය කරයි.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2014

බුද්ධිමත් අනාගතය

මහාචාර්ය අභය ඉඳුරුව, මහාචාර්ය වී කේ සමරනායක මහතා විසින් ප්‍රදානය කරන ලද පරිගණනය පිළිබඳ මහාචාර්ය

දිනය: 2014 ජූලි 23

වේලාව: ප.ව. 4.00

ස්ථානය: මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරය, UCSC.

1950 දී උපත ලබා, දියතලාව කහගොල්ල මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය අභය ඉඳුරුව මහතා, ශ්‍රී ලංකා කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන්, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් ප්‍රථම ශිෂ්‍යයා බවට පත් වෙමින් 1975 දී හොඳම විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිධාරියා සඳහා පිරිනැමෙන ඕ.පී. කුල්ශ්‍රෙෂ්තා සම්මානය දිනා ගත්තේය. සම්මානිත මහාචාර්ය බී. ජේ. කොරීගේ අධීක්ෂණය යටතේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසු 1980 දී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ පරිගණක සංගමයේ ආරම්භක සාමාජිකයෙකු වන මහාචාර්ය ඉඳුරුව මහතා එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ වරලත් ඉංජිනේරුවරයෙකු සහ වරලත් සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මෙන්ම බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ද වරලත් සාමාජිකයෙක් වෙයි. ඔහු අන්තර්ජාල සංසදයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම අන්තර්ජාල සංසදය-ශ්‍රී ලංකා පරිච්ඡේදයේ (ශ්‍රී ලංකා අන්තර්ජාල සංසදයේ) සාමාජිකයෙකි.

1983 දී ඔහු ශ්‍රී ලංකාව සඳහා පරිගණක ප්‍රතිපත්තිය සකස් කළ ජාතික කමිටුවේ සේවය කළේය. 1984 දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහු පරිගණක හා තොරතුරු තාක්ෂණ කවුන්සිලයේ (CINTEC) සමාරම්භක මණ්ඩලයට පත් කරන ලදී. 1985 දී CINTEC මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූ මහාචාර්ය සමරනායක මහතා සමඟ 1998 දක්වා ඔහු එහි සේවය කළේය. ඔහු පරිගණක අධ්‍යාපනය සහ දත්ත සන්නිවේදනය සහ පරිගණක ජාලකරණය සඳහා CINTECහි කාර්යභාරය ඉටු කළ අතර ඊට අදාළ CINTEC ක්‍රියාකාරී කමිටුවල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. අවස්ථා ගණනාවක දී ඔහු CINTECහි වැඩබලන සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු විවිධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපදේශන කාර්යභාරයන් ඉටු කරමින් රාජ්‍ය අංශයේ සංවිධානවලට සේවය කළේය. 1992 දී ඔහු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද, ශ්‍රී ලංකාව සඳහා දත්ත සන්නිවේදනය සහ පරිගණක ජාලකරණ උපාය මාර්ග සකස් කළ කමිටුවේ සේවය කළේය. 1992-1996 දක්වා ඔහු ජාතික විද්‍යා පදනමෙහි කවුන්සිලයේ (මුලදී NARESA ලෙස හැඳින්වූ) සේවය කළේය.

අධ්‍යාපනයේ පරිගණක පිළිබඳ UNESCO උපදේශක කණ්ඩායම් රැස්වීම් (ජපානය, 1984 සහ ඉන්දියාව, 1987) සහ ආසියාවේ විද්‍යා සහයෝගීතා සංගමයේ NSFSL රැස්වීම්වල දී (ජපානය, 1995) ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1998 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ඒකාබද්ධ ADB-ITU රැස්වීමේ දී ද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1994 දී ඉතාලියේ න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ අබ්දුස් සලාම් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල භෞතික විද්‍යාඥයින් සඳහා වූ ක්ෂුද්‍ර සකසනය පදනම් කරගත් පුහුණු ක්‍රියාකාරකම්වල අධ්‍යක්ෂවරයෙකු විය. පසුගිය වසර 20 තුළ ඔහු වියට්නාමය (1997), මධ්‍යම හා නැගෙනහිර යුරෝපය (1997), සෙනෙගල් (1999), ඉන්දුනීසියාව (2005), චිලී (2008) සහ මැලේසියාව (2012) යන රටවල කලාපීය ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් 17ක් සංවිධානය කොට ඉදිරිපත් කර තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් හතළිහකට අධික සංඛ්‍යාවක විද්‍යාඥයින් 2000කට වැඩි පිරිසක් මෙම පුහුණු වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබා තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ පරිගණක විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමේ පුරෝගාමියා වූ අතර 1985 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශය ස්ථාපිත කොට 1998 වන තෙක් එහි ප්‍රධානියා ලෙස සේවය කළේය.

කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලයේ පරිගණනය පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා ඒකාබද්ධ වැඩබලන ප්‍රධානී සහ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ මහාචාර්ය වී කේ සමරනායක මහතා විසින් ප්‍රදානය කරන ලද පරිගණනය පිළිබඳ මහාචාර්ය ධුරය හොබවයි. ඔහු බොහෝ පර්යේෂණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඔහුගේ වර්තමාන පර්යේෂණය මගින් අවධානය යොමු කරන්නේ ස්මාර්ට් ජංගම දුරකථන අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ අන්තර්ජාලය වැනි කරුණු පිළිබඳ සුරක්ෂිතතාව පිළිබඳ ය.

ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා පර්යේෂණ ජාලකරණය සහ අන්තර්ජාලය ඵලදායී ලෙස යෙදවීමේ පුරෝගාමියා වූ අතර අද වන විට අප රටේ සියලුම විශ්වවිද්‍යාල, පර්යේෂණ මධ්‍යස්ථාන සහ වෙනත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතන සඳහා අන්තර්ජාල සම්බන්ධතාව සපයන LEARN – ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය ගොඩනැගීමට නායකත්වය සැපයීය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවේ පරිගණක අධ්‍යාපනය හා වෘත්තීයමය දියුණුව වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් ශ්‍රී ලංකා පරිගණක සංගමය 2003 දී ඔහුට ගෞරවාන්විත අධිසාමාජිකත්වය පිරිනැමීය. ශ්‍රී ලංකාව තුළ ඵලදායි ලෙස අන්තර්ජාලය යෙදවීමේ පුරෝගාමී මෙහෙවරෙහි නියැළී ඔහු සිය ජීවිත කාලය තුළ ලැබූ ජයග්‍රහණය අගයමින් 2014 දී අන්තර්ජාල සංසදය විසින් මහාචාර්ය ඉඳුරුව මහතා අන්තර්ජාල ප්‍රසිද්ධ ශාලාවට (ඉන්ටර්නෙට් හෝල් ඔෆ් ෆේම්) ඇතුළත් කිරීමෙන් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2013

අධ්‍යයන ජීවිතයේ බාධක සහ සාර්ථකත්වයන්

විද්‍යා ජෝති මහාචාර්ය එරික් කරුණානායක, ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ජාතික පර්යේෂණ සභාවේ සභාපති

දිනය: 2013 ජුනි 10

වේලාව: ප.ව. 4.00

ස්ථානය: මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරය, UCSC.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2012

ගණිතයේ දිගු විස්තර

මහාචාර්ය ජේ.බී. දිසානායක, සිංහල මහාචාර්ය

දිනය: 2012 ජුනි 12

වේලාව: ප.ව. 4.30

ස්ථානය: මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරය, UCSC.

සිංහල විෂය පිළිබඳ සම්මානිත මහාචාර්ය, දේශමාන්‍ය ජේ.බී. දිසානායක මහතා සමකාලීන ශ්‍රී ලංකාවේ සිංහල විද්වතුන් අතර ප්‍රමුඛස්ථානයක් හිමි කර ගනියි. සිංහල පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා ලෙස දීර්ඝ හා කීර්තිමත් වෘත්තිය කාලයකින් පසු 2002 දී මහාචාර්ය දිසානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ලැබුවේය. 2007 දී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වූ ඔහු වසර හතරක් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කළේය. පළමුව සිංහල මහාචාර්යවරයා ලෙසත් පසුව තානාපතිවරයකු ලෙසත් සිය වෘත්තීය ජීවිතය පුරාම – මහාචාර්ය දිසානායකයන්ගේ භාෂා ශාස්ත්‍රය පිළිබඳ කීර්තිය ශාස්ත්‍රීය හා පොදු ජන බල මණ්ඩලයන්හි අවධානය දිනා ගත්තේය. ඔහු සිංහල භාෂාව හා ව්‍යාකරණ කෙරෙහි විශාල බලපෑමක් කර ඇති අතර සංස්කෘතියේ සිට පුවත්පත් කලාව දක්වාත්, ළමා සාහිත්‍යයේ සිට භාෂා තාක්‍ෂණය දක්වාත් විවිධ ක්ෂේත්‍ර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.

1937 අප්‍රේල් 16 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනහි උපත ලැබූ ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සහ පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ය. 1957 දී ඔහුට පේරාදෙණිය, ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව උදා වූ අතර එහිදී මහාචාර්ය ඩී. ඊ. හෙට්ටියාරචිචි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එම්. ඩබ්ලිව්. සුගතපාල ද සිල්වා සහ ආචාර්ය සිරි ගුණසිංහ වැනි සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ රටේ විශිෂ්ටතම විද්වතුන්ගෙන් ගුරුහරුකම් ලැබීමට හැකි විය. විශ්වවිද්‍යාලය තුළ පැවති ශාස්ත්‍රීය හා සංස්කෘතික පරිසරය සහ සිංහල භාෂාව හා සංස්කෘතිය කෙරෙහි ඔහු තුළ තිබූ දැඩි ආදරය ඔහුගේ පසුකාලීන අධ්‍යයන හා වෘත්තීය ජයග්‍රහණ සඳහා මග පෑදීය.

1961 දී මහාචාර්ය දිසානායක ලංකා විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය වෙනුවෙන් බොහෝ ත්‍යාග දිනා ගනිමිනි. උපාධිය ලැබීමෙන් පසු ඔහු සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සිය අධ්‍යයන වෘත්තීය කටයුතු ආරම්භ කළේය. තරුණ කථිකාචාර්යවරයකු ලෙස ඔහු සිය පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා නූතන වාග් විද්‍යා ක්ෂේත්‍රය තෝරා ගත්තේය. ඔහු බර්ක්ලීහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් අතර එහිදී ඔහු Fulbright විද්‍යාර්ථයකු ලෙස වසර දෙකක් (1963-65) ගත කළේය. ඔහු තවත් වසරක් ලන්ඩනයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ න්‍යායාත්මක වාග්විද්‍යාව හැදෑරීය. සිය පශ්චාත් උපාධි කාලය තුළ ඔහු ප්‍රමුඛ පෙළේ වාග් විද්‍යාඥයින්, විශේෂයෙන් ඩෙල් හයිම්ස්, ජෝන් ගම්පර්ස් සහ මයිකල් හැලිඩේ වැනි මහාචාර්යවරුන්ගෙන් ආභාසය ලැබීය. වෘත්තීය වාග් විද්‍යාඥයෙකු ලෙස මහාචාර්ය දිසානායක යනු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය යන ද්විත්ව භාෂාමය චින්තනයේ නිපැයුමකි. නූතන සාහිත්‍ය සිංහල පිළිබඳ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය 1980 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක ප්‍රථම අංග සම්පූර්ණ වාග් විද්‍යා අධ්‍යයනාංශය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයනාංශය පිහිටුවීමට මහාචාර්ය දිසානායක මහතා දායක විය. සිංහල වාග්විද්‍යාව දියුණු කිරීම සඳහා ඔහු ප්‍රධාන දායකත්වයක් සැපයීම පූර්ණ ජවයකින් යුතුව ආරම්භ වූයේ එතැන් පටන්ය. 1973 දී වෙනත් විශ්වවිද්‍යාලයකට ගෙන යන තෙක් ඔහු අලුතින් පිහිටුවන ලද වාග් විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානියා බවට පත්විය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීමෙහි අඛණ්ඩව නිරත වූ අතර නව විෂය වන නූතන වාග්විද්‍යාව ප්‍රචලිත කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. වසර ගණනාවක් කැපවීමෙන් සිදු කළ සේවයෙන් පසු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පදවියට උසස් වීම් ලබා එම ආයතනයට ගෞරවයක් හා කීර්තියක් ගෙන දුන්නේය.

විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයෙකු ලෙස මහාචාර්ය දිසානායක මහතා සිංහල ව්‍යාකරණ, භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා නිත්‍ය දායකත්වයක් ලබා දී ඇත. සිංහල හා ඉංග්‍රීසි පොත් 100කට අධික සංඛ්‍යාවක් සහ සුවිශේෂී ශාස්ත්‍රීය වටිනාකමක් ඇති විද්වත් ලිපි කිහිපයක් ද ඇතුළුව ඔහු මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රයන්හි ප්‍රකාශන රාශියක් සිදු කර තිබේ. තමන් විශේෂඥභාවය ලද ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණ අධ්‍යයන හා නූතන වාග්විද්‍යාව අතර පරතරය පියවා ගැනීම සඳහා ඔහු කටයුතු කළේය. සිහල බසින් රචිත ඔහුගේ පළමු කෘති දෙක වන භාෂාවක රටා සමුදය (1969) සහ භාෂාවක භාවිතය හා විග්‍රහය (1970) නූතන වාග්විද්‍යා විශ්ලේෂණයේ සංකල්ප සිංහල පාඨකයන්ට හඳුන්වා දීමේ පුරෝගාමී වෑයමක් ලෙස සැලකේ. සිංහල ව්‍යාකරණ පිළිබඳ ඔහුගේ නව අදහස් සිංහල වාග්විද්‍යා කවයන් තුළ බොහෝ මතභේදයන්ට තුඩු දුන් අතර භාෂාව අධ්‍යයනය කිරීම සඳහා නව මානයන් වෙත මෙහෙයවීය. නූතන ව්‍යාකරණ ශිල්පියෙකු ලෙස මහාචාර්ය දිසානායක විසින් සමකාලීන සිංහල සඳහා නව ව්‍යාකරණයක් ලිවීමට සහ නූතන වාග්විද්‍යාවේ හා ව්‍යාකරණයේ විවිධ අරමුණුවලට අනුකූලව සිංහල භාවිතය විශ්ලේෂණය කිරීමට මූලික පියවර ගත්තේය. ඔහුගේ නව සිංහල ව්‍යාකරණ මාලාව වන බසක මහිම (2001) සිංහල ලේඛන ව්‍යවහාරය වාග්විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විශ්ලේෂණය කිරීමට දරන ප්‍රයත්නයක් වන අතර එමගින් සිංහල ව්‍යාකරණ අධ්‍යයනය කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා දෙයි.

සිංහල භාෂාව සහ ව්‍යාකරණ පිළිබඳ ඔහුගේ විශාල සංඛ්‍යාවක් වූ ප්‍රකාශනවලට අමතරව, මහාචාර්ය දිසානායකයන්ගේ අනෙකුත් ඉංග්‍රීසි ප්‍රකාශන අතරට Language and Commonsense (1973), Say it in Sinhala (1974), The Structure of Spoken Sinhala: Sounds and their Patterns (1991), A Unique Indo-Aryan Language (1994), Let’s Learn Sinhala (2004) යන කෘති ඇතුළත් වේ. Sinhala: Saga of an Island Language (2012) නම් මෙම වර්තමාන වෙළුම සිංහල භාෂාවේ ඉතිහාසය, ව්‍යුහය සහ සංවර්ධනය පිළිබඳ වඩාත් පුළුල් වූ ද සුගම වූ ද විස්තරයක් සපයයි.

මහාචාර්ය දිසානායක මහතා බොහෝ ප්‍රජාවන්ගේ භාෂා හා සංස්කෘතීන් හැදෑරීමට වසර කිහිපයක් ගත කර තිබේ. 1976 දී ඔහු ඉතාලි භාෂා හා සංස්කෘතිය හැදෑරීම සඳහා පේරුජියාවේ උම්බ්‍රියන් කඳුකරයේ වසරක් ගත කළේය. 1985 දී එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෙකු ලෙස ව්‍යවහාරික වාග්විද්‍යාව හදාරමින් තවත් වසරක් ස්කොට්ලන්තයේ ගත කළේය. ඔහු මාලදිවයිනේ පැරණිතම ඓතිහාසික ලේඛන වන 12 වන සියවසේ ලොමාෆු නූ තඹ පත්‍ර පළමු වරට කියවීමට හා ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට 1981 දී මාලදිවයින් ජනරජයෙන් ආරාධනා ලද ශ්‍රී ලාංකික විද්වතුන් දෙදෙනාගෙන් එක් අයෙක් විය. නූතන මාලදිවයින් බස පිළිබඳ ඔහුගේ උනන්දුව, ඔහු එච්.ඒ. මානිකු සමඟ සම-කතෘත්වය දැරූ Say it in Maldivian (1990) කෘතියෙන් ප්‍රකාශ වෙයි.

සිංහල භාෂා අධ්‍යයන ක්‍ෂේත්‍රයේ මහාචාර්ය දිසානායකගේ මූලික අවධානය යොමු වූයේ සිංහල ජන වහර ලේඛනගත කිරීම කෙරෙහි ය. විද්වතෙකු ලෙස ඔහු සිංහල ගම්මානයේ සුන්දරත්වය හා විචිත්‍රත්වය කෙරෙහි ඇල්මක් දැක්වූ අතර සිංහල ජන ව්‍යවහාර එකතු කිරීම සඳහා වැඩි කාලයක් කැප කළේය. කථන සිංහල, සිංහල භාෂා අධ්‍යයනයේ ඉතා වැදගත් කොටසක් ලෙස සැලකූ ඔහු සිංහල ජන වහර දෙස නව මානයකින් බැලීම නඟා සිටුවීය. ඔහුගේ සිංහල ජන වහර (1976) යන ප්‍රකාශනය සිංහල ජන වහර වාග්විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් ලේඛනගත කිරීම සඳහා පුරෝගාමී වීමට උපකාරී විය. වෘත්තියෙන් ඔහු වාග්විද්‍යාඥයෙකු ලෙස කීර්තියට පත් වුවත්, සිංහල ගම්මානය සහ එහි වැසියන්, භික්ෂූන් වහන්සේලා සහ ගොවීන් කෙරෙහි ඔහු තුළ වූ ඇල්ම සිංහල සංස්කෘතිය ගැන ලිවීමට ඔහු පෙලඹවීය. සිංහල සංස්කෘතිය හා ජනප්‍රවාද පිළිබඳ ඔහුගේ ප්‍රධාන කෘති වන Aspects of Sinhala Folklore (1984) Water in Culture: The Sri Lankan Heritage (1992), Mihintale: Cradle of Sinhala Buddhist Civilization (1987) The Monk and the Peasant (1993), Understanding the Sinhalese (1998) සිංහල සංස්කෘතියේ සහ කලාවේ විවිධ පැතිකඩයන් පිළිබඳ දැනුම් සම්භාරයක් සපයයි. 1996 දී ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම සඳහා කථන වාග් සම්ප්‍රදාය භාවිත කරමින් සරල ශෛලියකින් රටක මහිම නම් සිංහල පොත් පිංච මාලාවක් රචනා කිරීම ඇරඹීය. මහාචාර්ය දිසානායකයන්ගේ වෘත්තීයමය වාග්විද්‍යාත්මක අභිරුචීන්ට අමතරව සිංහල සංස්කෘතිය හා කලාව පිළිබඳ දැනුම ගැඹුරුය. විවිධාකාරය.

වාග්විද්‍යාඥයෙකු ලෙස මහාචාර්ය දිසානායක මහතා සිය පරිගණක විද්‍යා සගයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දේශීය භාෂා සවිබල ගැන්වීමෙහි ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. ඔහු යුනිකෝඩ් සඳහා සිංහල අක්ෂර මාලාව ප්‍රමිතිකරණය කිරීම සඳහා 1998 දී ග්‍රීසියේ ක්‍රීට්හි පැවති සමුළුවකට සහභාගී වූ ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් කෙනෙකි. තවද ඔහු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ භාෂා තාක්‍ෂණ ව්‍යාපෘති සඳහා සිංහල භාෂාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස සේවය කළේය.

මෑත වසරවලදී, මහාචාර්ය දිසානායක මහතා සිය ශාස්ත්‍රීය කටයුතුවලින් ඉවත් වී සිංහල ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. Once upon a Time යන නමින් වන ඔහුගේ පොත් පිංච මාලාව සිංහලයන්ගේ වඩාත් ජනප්‍රිය ජන කතා ළමුන් සඳහා ගෙන එයි. The Wisdom of the Folk යනු දරුවන්ගේ හිතෝපදේශවල දක්නට ලැබෙන පරිදි ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සපන්කම් දරුවන්ට පැහැදිලි කරන තවත් පොත් පිංච මාලාවකි. සිංහල අක්ෂරවල පළමු රසය සහ සිංහල භාෂාවේ රටාවන් දරුවන් වෙත ගෙන එමින් “අකුරු මිහිර” නමින් තවත් ජනප්‍රිය පොත් මාලාවක් ද මහාචාර්ය දිසානායකයන් විසින් රචනා කොට තිබේ.

මහාචාර්ය දිසානායකයන්ගේ බහුශ්‍රැතභාවය නිසාම ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍යයේ ප්‍රමුඛ චරිතයක් වී තිබේ. 1986 දී කොළඹ විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද ජනමාධ්‍ය ඒකකය සම්බන්ධීකරණය කිරීමේ අතිරේක වගකීම ඔහුට පැවරිණි. එවිට ඔහුගේ ශාස්ත්‍රීය දෘෂ්ටීන් ජනමාධ්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් පුළුල් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමේ දැක්ම යථාර්ථයක් කරලීමේ ශක්‍යතාව ඔහු සතු විය. තවද, මහාචාර්ය දිසානායකයන්ගේ ක්‍රියාකාරකම් විශ්වවිද්‍යාල දේශන ශාලාවලට පමණක් සීමා නොවීය. ඔහු රටේ විවිධ භාෂාමය හා සංස්කෘතික කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය. බොහෝ අවස්ථාවන්හි දී ඔහු සිය අතිවිශාල භාෂාමය දැනුම පුළුල් ප්‍රේක්ෂක පිරිසක් සමඟ බෙදා ගත්තේය. භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් කිහිපයකම උපදේශකයෙකු, සම්පත් දායකයෙකු හෝ ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහු කටයුතු කර ඇත. මහාචාර්ය දිසානායකයන්ගේ බුද්ධිය, සිනහවට ඇති ආදරය හා හාස්‍යය පිළිබඳ හැඟීම බොහෝ විට ඔහුගේ විචක්ෂණශීලී, බැරෑරුම් හා තියුණු මනස සඟවාලීය. කෙසේ වෙතත්, ඔහුගේ සිසුන් බොහොමයක් භාෂාව හා ව්‍යාකරණ පිළිබඳ ඔහුගේ විචිත්‍ර දේශන අමතක නොකරනු ඇත.

මහාචාර්ය දිසානායක සිය විශ්වවිද්‍යාල කටයුතුවලට අමතරව ශිෂ්‍යත්ව, බුදුදහම හා සංස්කෘතිය සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත්තේ එවැනි කටයුතු සඳහා වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ආයතන බොහොමයකට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙමිනි. ඔහු බොහෝ ආරාධිත දේශන සහ අනෙකුත් දේශන පැවත්වා ඇත. විද්වතෙකු ලෙස මහාචාර්ය දිසානායක මහතා සිය විශිෂ්ට පාණ්ඩිත්‍ය සහ අධ්‍යයන දායකත්වයන් වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් හා කීර්තියක් ද ලබා ඇත. ඔහුට පිරිනමන ලද ජාත්‍යන්තර තනතුරු අතර එක්සත් රාජධානියේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයනායතනයේ (SOAS) සාහිත්‍ය හා සංස්කෘතිය පිළිබඳ හැදැරීමේ අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ සාමාජික (1992-93); ජපානයේ වකෝ විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්ය (1998); තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති (2007-2011) යන තනතුරු වේ. ඔහු විසින් කරන ලද අධ්‍යයන ප්‍රකාශන වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකා රජයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතරක් දිනා ඇත. මනුෂ්‍යත්වයේ, සාමයේ සහ සංවර්ධනයේ දියුණුව වෙනුවෙන් 1996 දී සර්වෝදය භාර අරමුදලේ ජාතික සම්මානය ඔහුට හිමි විය. වාග්විද්‍යාව හා සිංහල ව්‍යාකරණ ක්‍ෂේත්‍රය තුළ ඔහු ලබා ඇති විශිෂ්ටත්වය සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් 2003 දී කොළඹ විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය (D.Litt) උපාධිය ප්‍රදානය කරන ලදී. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ඔහුට කීර්ති ශ්‍රී යන පදවි නාමය හිමි විය. ඔහු රට වෙනුවෙන් කළ සේවය අගයමින් 2005 දී ඔහුට ශ්‍රී ලංකා රජයෙන් ජනාධිපති ගෞරව නාමය වූ දේශමාන්‍ය නාමය පිරිනමන ලදි.

මහාචාර්ය දිසානායක මහතා මේ වන විට ජීවත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ, කොහුවෙල ප්‍රදේශයේය. එහිදී ඔහු භාෂාව, ව්‍යාකරණ හා සංස්කෘතිය පිළිබඳ ලේඛකයෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. විවාහකයෙක් වන ඔහුට දරුවෝ දෙදෙනෙක් සිටිති.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2011

තොරතුරු තාක්ෂණයේ දැක්ම

මහාචාර්ය අර්ජුන අළුවිහාර, ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය

දිනය: 2011 අගෝස්තු 26

වේලාව: ප.ව. 3.30

ස්ථානය: මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරය, UCSC.

ශ්‍රී ලංකා ජාතිකයෙකු වන කථිකයා මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ඔහු 1939 දී උපත ලබා 1966 දී විවාහ වූ අතර ඔහුට දරුවෝ හතර දෙනෙක් සිටිති.

ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1963 දී කේම්බ්‍රිජ්හි කිංග්ස් විද්‍යාලයේ සහ ලන්ඩන් රෝහලේ (එක්සත් රාජධානියේ) මූලික වෛද්‍ය උපාධිය හැදෑරීය. ඔහුට පාසල් හා විශ්වවිද්‍යාලවල ත්‍යාග හා ශිෂ්‍යත්ව රාශියක් ලැබුණි. විශේෂයෙන් චෙලෝ වාදනය කිරීම සහ ක්‍රීඩා (මුල්කාලීනව මලල ක්‍රීඩා, රග්බි සහ ටෙනිස් සහ පසුකාලීනව වෝටර් ස්කීං සහ වයිට් වෝටර් රාෆ්ටිං) වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීය.

ඔහුගේ පශ්චාත් උපාධි කටයුතු 1966 දී ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ FRCS සමඟ ද 1970 දී ශල්‍ය වෛද්‍ය විද්‍යාපති (M.Chir) (කේම්බ්‍රිජ්) උපාධිය ලන්ඩනයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත මාක්ස් රෝහලේ දී සිදු කරන ලදී. ඔහු 1971 දී විශ්වවිද්‍යාලයට බැඳුණි. මින් පසු ඔහු ශ්‍රී ලංකාව, එංගලන්තය, කුවේට් යනාදී රටවල සමකාලීනව වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය තනතුරු රාශියක් දරා ඇති අතර රටවල් 25කට අධික සංඛ්‍යාවක රෝහල් වෙත ගොස් ඇත. 1979, 1995, 1998, 2001, 2002, 2003, 2004-2006 වසරවල එංගලන්තයේ ලොකම් උපදේශක කාර්යයේ නියැළී තිබේ. 1985 සිට 2004 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ලෙස කටයුතු කොට ඇත.

ඔහු වරෙක සිය විශ්වවිද්‍යාලයේ උපකුලපති (1988-89) ද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති (1989-93) ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු (1997-2000) මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පර්යේෂණ පිළිබඳ කලාපීය හා ගෝලීය උපදේශක කමිටු සාමාජිකයෙකු (1992-2000) ද විය. කොළඹ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස (1995 සිට 2004 දක්වා) කටයුතු කළ ඔහුට මුළු රටේම ශල්‍ය වෙද්‍ය පුහුණුව පිළිබඳ අධීක්ෂක හැකියාවක් තිබිණි. ඔහු ශ්‍රී ලංකාවට අමතරව ලන්ඩනය, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල අවසන් අධිශිෂ්‍යත්ව පරීක්ෂණ සිදු කොට ඇත. ඔහු වසර ගණනාවක් ශල්‍යකර්ම පිළිබඳ බ්‍රිතාන්‍ය සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයෙක් විය. ඔහු SAARC ශල්‍ය වෛද්‍ය සංගමයේ ආරම්භක සභාපති සහ විද්‍යාවේ දියුණුව සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ වෛද්‍ය අංශයේ ද අග්නිදිග ආසියානු කලාපීය වෛද්‍ය අධ්‍යාපන සංගමයේ සහ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපතිවරයා විය. අධ්‍යාපන සේවා සඳහා ඔහුට Trinity Lion සම්මානයක් හිමි වී තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ හිටපු සභාපති සහ පුග්වාෂ් – ශ්‍රී ලංකා අංශයේ සභාපති ය; ඔහුට බංග්ලාදේශ වෛද්‍යවරුන්ගේ හා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ ගරු සාමාජිකත්වයක් ද, එඩින්බරෝහි ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ සහ ග්ලාස්ගෝහි වෛද්‍යවරුන්ගේ හා ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ඇඩ් හොමිනම් සාමාජිකත්වය ද, එංගලන්ත රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ ගරු සාමාජිකත්වය ද සබරගමුව විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධියක් ද, රසායන විද්‍යා ආයතනයේ ගරු සාමාජිකත්වය සහ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා ඇකඩමියේ ගරු සාමාජිකත්වය ද ඔහුට හිමිය. ඔහු වොෂිංටන්හි ජාතික විද්‍යා ඇකඩමිය පදනම් කරගත් ශාස්ත්‍රීය හා විද්වත් සංසදවල මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ජාලයේ විධායක කමිටු සාමාජිකයෙකි.

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය, ශල්‍යකර්ම (නව ශල්‍යකර්ම ඇතුළුව), ප්‍රජාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් ආදී මාතෘකා පිළිබඳව ඔහු විසින් පුළුල් ලෙස රචිතය. විශේෂයෙන් සිත්ගන්නා කරුණ නම් වැඩ සහ පුහුණුව, නව තාක්ෂණයන්, සංවර්ධනය සහ පොදුවේ ගත් කළ සෞඛ්‍යය ආදී සංවර්ධනය වෙමින් පවතින රටවල සැත්කම්වලට අදාළ කරුණු අතර අන්තර් ක්‍රියාකාරිත්වයයි. සැත්කම් පිළිබඳ මෑතකාලීන ඔක්ස්ෆර්ඩ් පෙළ පොතේ පරිච්ඡේදයක් ඇතුළත් කිරීම සහ RCS, ලන්ඩන් සහ COL Vancouver සමග සහයෝගයෙන් ලන්ඩන් FRCS STEP පාඨමාලාව සහ එංගලන්තයේ RCSහි ISS වැඩසටහන නගා සිටුවීම පිළිබඳ තැටි පොතක් යාවත්කාලීන කිරීම සිදු කොට තිබේ. බොහෝ නැගෙනහිර හා බටහිර රටවල් නිරීක්ෂණය කරමින්ද විශිෂ්ට දේශන පවත්වමින් ද (ලන්ඩනයේ රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ අජිද්‍ර ගුදමාර්ගය සඳහා සිදු කළ නව සැත්කමක් පිළිබඳ හන්ටේරියානු මහාචාර්ය දේශනයක් ද ඇතුළුව ඉන්දියාවේ, බංග්ලාදේශයේ, එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ දේශන කිහිපයක්) තීරණ ගැනීමේ කමිටුවලට සහභාගීවෙමින් ද ඔහු විශ්වවිද්‍යාල, මානව හිමිකම් සහ සෞඛ්‍ය කටයුතු සම්බන්ධ කටයුතු සඳහා ඔහු බොහෝ සේ සංචාරය කොට තිබේ.

ඔහු ආසියාව යුරෝපය, සහරා අප්‍රිකාව, දකුණු සහ උතුරු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රෝහල් සහ වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයට ගොස් තිබේ. විද්‍යාව වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවාවන් වෙනුවෙන් 1998 දී ශ්‍රී ලංකා රජය ඔහුට විද්‍යා ජෝති යන ගෞරව නාමය  පිරිනැමීය.

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2010

සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් ඔබ්බට රොබෝ විද්‍යා ගවේෂණය

ආචාර්ය සරත් ඩී. ගුණපාල,  NASA ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ

දිනය: 2010 මැයි 07

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2009

ස්කන්ධයේ මූලාරම්භය අනාවරණය

මහාචාර්ය එල්.සී.ආර්. විජේවර්ධන, ඇමරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය.

දිනය: 2009 සැප්තැම්බර් 15

මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ දේශනය 2008

දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධන ගැටලු එක්ව විසඳීම

මහාචාර්ය මොහාන් මුනසිංහ, 2007 නොබෙල් සම-සම්මානලාභී

දිනය: 2008 ජුනි 05

වේලාව: පෙ.ව. 9.30

ස්ථානය: මහාචාර්ය වී.කේ. සමරනායක ශ්‍රවණාගාරය, UCSC.

පළමු විද්‍යා ජෝති මහාචාර්ය වී. කේ. සමරනායක අනුස්මරණ දේශනය 2007 නොබෙල් සම-සම්මානලාභී මහාචාර්ය මොහාන් මුනසිංහ විසින් 2008 ජුනි 5 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට 11 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) මහාචාර්ය වී. කේ. සමරනායක ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබේ.

මහාචාර්ය මොහාන් මුනසිංහ මහතා විසින් “දේශගුණික විපර්යාස හා තිරසාර සංවර්ධන ගැටලු එක්ව විසඳීම” යන මාතෘකාව යටතේ අනුස්මරණ දේශනය පවත්වනු ඇත.

මේ සඳහා මිතුරන්, සහෘදයන් සහ සුභ පතන්නන් පිළිගනු ලැබේ.

මහාචාර්ය වී. කේ. සමරනායක මහතා විශ්වවිද්‍යාල පද්ධතියට සහ විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට විවිධ අයුරින් සේවය කළ නමුත් වඩාත් ප්‍රචලිත වන්නේ ශ්‍රී ලංකාවේ “පරිගණක පියා” ලෙස ය. ඔහු පරිගණක තාක්‍ෂණ ආයතනයේ ද එහි අනුප්‍රාප්තිකයා වූ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ද ආරම්භක අධ්‍යක්ෂවරයා විය. ඔහු 2004 දී විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත් නමුත් UCSCහි සම්මානිත මහාචාර්ය ධුරය පිරිනැමීමෙන් ගෞරවයට පාත්‍ර විය. 1985 දී මහාචාර්ය මොහාන් මුනසිංහ මහතාගෙන් වැඩ භාර ගැනීමෙන් පසු මහාචාර්ය සමරනායක මහතා  CINTECහි දෙවන සභාපතිවරයා විය. 2007 දී ඔහු අකල් මරණයට පත් වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා විය.

මහාචාර්ය මොහාන් මුනසිංහ මහතා මුනසිංහ සංවර්ධන ආයතනයේ (MIND) සභාපතිවරයාය; ජිනීවාහි දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජනපද අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) උපසභාපතිවරයාය; ශ්‍රී ලංකා රජයේ බලශක්ති උපදේශකවරයාය; ටෝකියෝහි එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙක් ද වෙයි. ඔහු ශ්‍රී ලංකා ජනපතිගේ ජ්‍යේෂ්ඨ බලශක්ති උපදේශක (1982-87) ලෙස ද පාරිසරික තත්ත්ව පිළිබඳ එක්සත් ජනපද ජනපතිගේ කවුන්සිලයේ (1990-92) උපදේශක ලෙස සේවය කර ඇත. 2002 වන තෙක් ඔහු ලෝක බැංකුවේ ජ්‍යේෂඨ කළමනාකරුවෙකු සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස සේවය කළේය. ඔහු සිය පර්යේෂණ සඳහා ජාත්‍යන්තර ත්‍යාග හා පදක්කම් ගණනාවක් දිනා ඇති අතර තිරසාර සංවර්ධනය, පරිසරය, තොරතුරු තාක්‍ෂණය, බලශක්තිය, ජල සම්පත්, ප්‍රවාහන හා ආර්ථික විද්‍යාව පිළිබඳ කෘති 85ක් සහ තාක්ෂණික ලිපි තුන්සියයකට අධික ප්‍රමාණයක් රචනා කර ඇත.